Header Ads

Breaking News
recent

සියොන් දේවස්ථානයේ බෝම්බකරු කලින්දා රෑ මරදානේ සිට මඩකළපු ඇවිත්

ඩකළපුව සියොන් දේවස්ථානයේදී බෝම්බය පුපුරුවාගත් මොහොමඩ් ගසාර් මොහොමඩ් අසාද් 2019 අප්‍රේල් මස 20 වැනි දින රාත්‍රි 8.20ට පමණ කොළඹ සිට කල්මුණේ බලා ධාවනය වන බස් රථයකට මරදාන සහිරා විද්‍යාලය අසලින් නැඟ ඇති බව ආරක්ෂිත කැමරා දර්ශන අනුව අනාවරණය වී ඇති බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රධාන පොලිස් පරීක්ෂක සමන් වීරසිංහ පාස්කු ප්‍රහාරය පිළිබඳ ජනාධිපති කොමිසම හමුවේ ඊයේ (4දා) ප්‍රකාශ කළේය.

මෙහිදී බෝම්බකරු විසින් අදාළ බස් රථයේ ආසන කලින් වෙන් කරවා ගැනීමක් සිදුව තිබුණේද යන්න කොමිෂන් සභාවේ සාමාජිකයන් ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් සාක්ෂිකරු සඳහන් කළේ කලින් ආසන වෙන්කරවා  ගැනීමක් සිදුවී ඇති බවයි. අදාළ ආසන වෙන්කරවා ගැනීම සිදුකර ඇත්තේ කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයේ බෝම්බය පුපුරුවා ගත් අලව්දින් අහමඩ් මුවාඩ් විසින් බවද ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා සඳහන් කළේය.

එහිදී ඔහු මෙසේද සඳහන් කළේ අදාළ ආසන වෙන්කරවා ගැනීම සිදුකර ඇත්තේ කල්මුණේ සහ දෙහිවල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයන් දෙදෙනකු හරහා. ඔවුන් මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ සිටිනවා ඔහු සඳහන් කළා. ඔහු වැඩිදුරටත් සඳහන් කළේ මුවාඩ් විසින් 2018 වසරේ අගෝස්තු මස සිට කල්මුණේ සිට කොළඹටත් කොළඹ සිට කල්මුණේටත් ආසන වෙන්කරවා ගැනීම් සිදුකර ඇති බවයි. ඔහු කොළඹින් පිටත්වන අවස්ථාවේත් ගමන්මලු දෙකක් තිබුණා. ඒ අනුව පැහැදිලි වෙනවා ඔහු කොළඹ සිටම බෝම්බ රැගෙන ගියා කියලා. ඔහු සඳහන් කළා’ යැයි හෙතෙම කොමිසම හමුවේ පැවැසීය.

එමෙන්ම මුවාඩ් විසින් අදාළ ආසන වෙන්කරවා ගැනීමට අදාළව ගනු ලැබූ දුරකථන ඇමැතුම් සම්බන්ධයෙන්ද දුරකථන විශ්ලේෂණ වාර්තා ලබාගෙන විමර්ශන සිදු කළ බව වීරසිංහ සඳහන් කළා. ඔහු මුවාඩ් එම දුරකථන ඇමැතුම් ලබාගැනීමේදී රත්මලාන සහ මොරටුව යන ප්‍රදේශවල සිට ඇති බවට එම විමර්ශන හරහා අනාවරණය වූ බවයි.

එම සිදුවීම්වලට අදාළ ආරක්ෂිත කැමරා දර්ශන කොමිෂන් සභාව හමුවේ තීරණය කරන ලදී. එම දර්ශනවලට අනුව 2019 අප්‍රේල් මස 21 වැනි දින අලුයම 2.12ට පමණ ඔහු මඩකළපුව නගරයේදී එම බස් රථයෙන් බැස යනවා. පසුව ඔහු එම ස්ථානයේ නවතා තිබූ ත්‍රිරෝද රථයකට නැඟ එම ප්‍රදේශයේ පිහිටි මුස්ලිම් දේවස්ථානයකට පිටත්ව ගොස් තිබෙනවා. පෙරවරු 2.16ට පමණ එම පල්ලිය අසලට පැමිණෙන ඔහු ගමන් මලු දෙක පල්ලියේ ගේට්ටුව අසල තබා ඒ අවට සක්මන් කරන අයුරු දැකගත හැකි වූ බවද හෙතෙම සඳහන් කළේය.

මෙහිදී අදාළ පල්ලිය පිළිබඳව සොයාබැලීමක් සිදු කළද යන්න කොමිෂන් සභාවේ සාමාජිකයන් ප්‍රශ්න කළ අවස්ථාවේ සාක්ෂිකරු සඳහන් කළේ එවැනි සොයාබැලීමක් සිදුකළ බවයි. එම පල්ලිය විවෘත කරන්නේ පෙරවරු 4.30ට පමණ. ඒ අනුව මේ පුද්ගලයා පෙරවරු 4.30 දක්වා එම ස්ථානයේ සැරිසරමින් ඉන්නවා. පෙරවරු 4.39ට පමණ මවුලවිවරයෙක් ඇවිල්ලා පල්ලියේ ප්‍රධාන ගේට්ටුව විවෘත කළ අවස්ථාවේ ඔහු පල්ලිය තුළට යනවා නිරීක්ෂණය වුණු බව ඔහු පැවැසුවේය.

මෙහිදී එම බෝම්බකරු පල්ලිය අසල රැඳී සිටි කාල සීමාව තුළ පොලිස් ජංගම රථ ඒ ප්‍රදේශය හරහා ගමන් කිරීමක් නිරීක්ෂණය කළා ද? කොමිෂන් සභාවේ සාමාජිකයන් ප්‍රශ්න කළා. ඊට පිළිතුරු වශයෙන් ඔහු සඳහන් කළේ ආරක්ෂිත කැමරා දර්ශනවල එවැනි ජංගම රථ ගමන් කරන ආකාරය පටිගත වී තිබුණු බවයි. නමුත් ඒ කිසිදු අවස්ථාවක එම පුද්ගලයාගෙන් කිසිදු ප්‍රශ්න කිරීමක් සිදුකර නොතිබීම කොමිෂන් සභාවේ විශේෂ අවධානයට ලක් වුණා. එමෙන්ම එම පල්ලිය තුළ ඕනෑම අයකුට පැමිණ රාත්‍රි කාලයේ නවාතැන් ගත හැකි කාමර කිහිපයක්ද තිබෙන බව අනාවරණය වූ බව ඔහු සඳහන් කළා. පෙරවරු 4.45 සිට අවස්ථා කිහිපයකදී ඔහු ආගමික වතාවත් සිදුකරන ආකාරයද ආරක්ෂිත කැමරාවල පටිගත වී තිබුණා. එම අවස්ථාවේදී ඔහු තරමක් නොසන්සුන්කාරීව හැසිරෙන අයුරුත් නිරීක්ෂණය වුණා.

පසුව පෙරවරු 8.31ට පමණ ඔහු ඇ¾දුම් මාරු කරගෙන එම ස්ථානයෙන් පිටව යන අයුරුද කැමරාවල පටිගත වී තිබුණා. සාක්ෂිකරු සඳහන් කළේ ඊට ටික වෙලාවකට පසු ඔහු සියොන් දේවස්ථානය වෙත පැමිණි ආකාරය ඒ අසල නිවෙසක සවිකර තිබූ ආරක්ෂිත කැමරාවල පටිගත වී තිබූ බවයි. ඔහු ටික වෙලාවක් පල්ලියෙන් පිටත රැඳී සිටිනවා. පසුව පෙරවරු 9.05ට පමණ බෝම්බ ප්‍රහාරය සිදුවන ආකාරය නිරීක්ෂණය වුණා, ඔහු පැවැසුවේය.

මෙහිදී අසාද් විසින් භාවිත කරනු ලැබූ දුරකථන අංක පිළිබඳව විමර්ශනයක් සිදුකළේද? යන්න විමසූ අවස්ථාවේ ඔහු සඳහන් කළේ ඔහු භාවිත කළ දුරකථන අංකය කාත්තණ්කුඩි ප්‍රදේශයේ පදිංචි තරුණයකුගේ නමට ලියාපදිංචි වී තිබූ  බවයි. නමුත් ඔහුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී ඔහු විසින් එම සිම් කාඩ්පත මිලදී ගෙන නොමැති බව අනාවරණය වූ බවත් ඔහු පැවැසුවේය.

2019 අප්‍රේල් 21 වැනි පාස්කු ඉරිදා දින මඩකළපුව සියොන් දේවස්ථානයේ මරාගෙන මැරෙන බෝම්බය පුපුරුවා ගත් මොහමඩ් නසාර් මොහමඩ් අසාද් ප්‍රහාරයට දින දෙකකට පෙර සිය බිරිය සමඟ කාත්තණ්කුඩි ප්‍රදේශයේ සිට කොළඹට පැමිණ කොල්ලුපිටිය ප්‍රදේශයේ පිහිටි ලකී ප්ලාසා ගොඩනැඟිල්ලේ පිහිටි නිවෙසක නවාතැන්ගෙන තිබෙනවා. ඔවුන් දෙදෙනාට අමතරව පාස්කු ඉරිදා දින බෝම්බ ප්‍රහාරයේ මහා මොළකරු සහ ජාතික තව්හිද් ජමාත් සංවිධානයේ නායක සහරාන් හෂීම්, ඔහුගේ බිරිය සහ දරුවන් දෙදෙනා, කටුවපිටිය ශාන්ත සෙබස්තියන් දේවස්ථානයේදී බෝම්බය පුපුරුවා ගත් ආච්චි මුහම්මදු මුහම්මදු හස්තුන් සහ ඔහුගේ බිරියද  එම නිවසේ නවාතැන්ගෙන තිබෙන බවද සාක්ෂිකරු පැවැසීය.

ඔහු සඳහන් කළේ 2019 අප්‍රේල් මස 18 වැනි දින අසාද් සිය බිරිය සමඟ කාත්තණ්කුඩි ප්‍රදේශයේ පිහිටි ඔහුගේ මවගේ නිවෙසට ගොස් ඇති බවයි. පසුව මවත් සමඟ ඔවුන් නැවැතත් අසාද්ගේ බිරියගේ නිවෙසට ගොස් ඇති බව අනාවරණය වූ බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළා. ඊට පසුව ඔවුන් 19 වැනි දින අලුයම 1ට පමණ නැවැතත් කාත්තණ්කුඩි ප්‍රදේශයේ පිහිටි මවගේ නිවෙසට ඇවිල්ලා මව ගෙදරට ඇරලවලා වෑන් රථයකින් කොළඹ එන්න පිටත් වෙලා තියෙනවා. සාක්ෂිකරු පැවැසුවේය.

තවදුරටත් සාක්ෂිකරු සඳහන් කළේ අසාද් සහ ඔහුගේ බිරිය 19 වැනි දින උදෑසන කොල්ලුපිටියේ පිහිටි ලකී ප්ලාසා නිවාස සංකීර්ණයේ කුලී පදනම මත ලබාගෙන තිබූ නිවෙස වෙත පැමිණ ඇති බවයි. ඒ නිවෙසේ සහරාන්, ඔහුගේ බිරිය සහ දරුවන් දෙදෙනා, හස්තුන් සහ ඔහුගේ බිරියත් ඉඳල තියෙනවා. ඉන් අනතුරුව එදින දහවල් 1ට පමණ ඔවුන් සියලු දෙනා පානදුර ප්‍රදේශයේ පිහිටා තිබූ ආරක්ෂිත නිවාස වෙත ගොස් තිබෙන බව අනාවරණය වූ බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළා. එමෙන්ම එම අවස්ථාවේ සහරාන්ගේ සහෝදරයා වන රිල්වාන් හෂීම් ද එම නිවෙසේ සිටි බවට තොරතුරු ලැබී ඇති බව ඔහු වැඩිදුරටත් සඳහන් කළා. ඔහු පැවැසුවේ සහරාන්, අසාද් සහ හස්තුන් යන අය එම නිවෙසේ නතරවී, කාන්තාවන් සහ දරුවන් රිල්වාන් සමඟ සයින්දමරුදු වෙත පිටත් වී ඇති බවයි.

බුද්ධික සමරවීර 


No comments:

Powered by Blogger.