Header Ads

Breaking News
recent

සමාජ මාධ්‍යවල ගියේ රාගම එක වාට්ටුවයි. අනිත් ඒවා එහෙම නෑ. රජය හැකි උපරිමය කරනවා - පවිත්‍රා (VIDEO)

පසුගිය දිනවල කොවිඩ් රෝගීන්ගෙන් පිරී ඇති ආකාරය දක්වමින් සමාජ මාධ්‍ය ජාල තුළ සංසරණය වූයේ රාගම රෝහලේ එක් වාට්ටුවක වීඩියෝවක් බවත් එහි සෙසු වාට්ටුවල එවන් තත්වයක් නොමැති බවත් සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පවසයි. 

රාගම රෝහලට ඇතුළත් කෙරෙන කොවිඩ් රෝගීන් මුලින්ම එක් වාට්ටුවකට යොමුකර එහිදී රෝගීන්ගේ සෞඛ්‍ය තත්වය පරීක්ෂා කර බලා වෙනත් වෙනත් වාට්ටුවලට යොමු කෙරෙන බව පැවසූ අමාත්‍යවරිය සඳහන් කළේ සමාජ මාධ්‍ය ජාලවල පළවූ වීඩියෝව එකී රෝගීන් මුලින්ම ඇතුළත් කෙරෙන වාට්ටුවේ එකක් බවයි. කෙසේවෙතත් එම තදබදය ද තුරන් කිරීම සඳහා තවත් වාට්ටු කිහිපයක්ම කොවිඩ් රෝගීන් වෙනුවෙන් වෙන් කිරීමට පියවර ගන්නා බවත් ඒ මහත්මිය ප්‍රකාශ කළාය. 

"පසුගිය දවස්වල සමාජ මාධ්‍ය ජාලාවලත් අපි දැක්කා මේ වාට්ටුව අරගෙන සමස්ත කොවිඩ් රෝගීන් ඉන්න රාගම රෝහලේ වාට්ටු සියල්ලම එකවගේ කියලා සමාජ මාධ්‍ය ජාලාවල වීඩියෝ නිකුත් කරලා තියෙනවා. ඉතිං අපි අද රෝහලේ අධ්‍යක්ෂකතුමාත් එක්ක සාකච්ඡා කළේ තවත් වාට්ටු කිහිපයක් රාගම රෝහලේ කොවිඩ් රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා වෙන්කිරීමට. තවත් යම් තදබදයක් තියෙනවා නම් ඒ තදබදය සම්බන්ධයෙන් තවත් වාට්ටු සංකීර්ණ කිහිපයක්ම කොවිඩ් රෝගීන්ට ප්‍රතිකාර කිරීමට වෙන්කිරීමට. කොහොම වුණත් මේ රටේ ජනතාවට මේ ජාතික ව්‍යසනයක් තියෙන වෙලාවෙ ඒ වගේම ලෝක ව්‍යසනයක් තියෙන වෙලාවෙ මේ රටේ ජනතාවට හැකි උපරිම ආකාරයෙන් රජයක් විදියට ප්‍රතිකාර කරන්න අපි කැපවෙනවා" 

අමාත්‍යවරිය මේ බව පැවසුවේ ඊයේ (04) රාගම රෝහලෙහි නිරීක්ෂණ චාරිකාවක නිරත වීමෙන් අනතුරුව මාධ්‍ය අමතමිනි. 

මේ අතර රාගම රෝහලෙහි මෙම තත්වය සම්බන්ධයෙන් නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ (වෛද්‍ය සේවා) වෛද්‍ය ලාල් පනාපිටිය මහතා ඊයේ පැවති මාධ්‍ය හමුවකදී පැවසුවේ  "රාගම රෝහලේ වාට්ටු 13ක මේ වනවිට කොවිඩ් රෝගීන් සඳහා ප්‍රතිකාර කරනවා. රෝහලකට රෝගියෙක් ගෙනාවාම ඒ රෝගියා බාරනොගෙන හිටින්න හැකියාවක් නෑ වෙන රටවල වගේ. එතකොට අපට පහසුකම් නෑ, අපට ඉඩ මදි, අපට කාර්ය මණ්ඩල නෑ කියලා අපට එයාව ප්‍රතික්ෂේප කරන්න බෑ. අපට තියෙන සීමිත දේ බෙදාහදාගෙන හරි අපට ඒ රෝගීන්ව බලාගන්න ඔවුන් වෙනුවෙන් කටයුතු කරන්න අපට සිද්ධ වෙනවා" යනුවෙනි. 

No comments:

Powered by Blogger.