Header Ads

Breaking News
recent

අනුරාධපුරයේ විස්මිත සැත්කමක් – රෝගියා නෙළුම් මලක් සිතුවම් කරද්දී වෛද්‍යවරු මොළයේ ගෙඩිය ඉවත් කරති!

රෝගියෙකු නිර්වින්දනයට ලක් නොකර අවදියෙන් සිටියදීම එම රෝගියාගේ මොළයේ තිබූ ගෙඩියක් ඉවත් කිරීමේ ශල්‍යකර්මයක් පසුගියදා අනුරාධපුර ශික්ෂණ රෝහලේ ස්නායු ශල්‍ය අංශය මගින් සාර්ථකව සිදු කෙරුණු අතර එම සැත්කම සිදු කරන අවස්ථාවේදී රෝගියා විසින් නෙලු‍ම් මලක් සිතුවමට නගන අයුරුද විශේෂත්වයක් විය.

ඔහුගේ වම් මොළයේ ඉදිරි පස ශරීරයේ දකුණු අර්ධයෙහි ක්‍රියාකාරකම් පාලනය කරන ප්‍රදේශය ආසන්නයේ හට ගත් ගෙඩියක් මෙලෙස ඉවත් කිරීමට වෛද්‍යවරු සමත් වූහ. මෙරට රජයේ රෝහලක පළමු වරට මෙවැනි ශල්‍යකර්මයක් සිදු කරනු ලැබුවේ 2020 වර්ෂයේදී අනුරාධපුර ශික්ෂණ රෝහලේදී වන අතර එම වෛද්‍ය කණ්ඩායම විසින්ම සිදු කරන ලද තෙවැනි සාර්ථක සැත්කම මෙය වේ.

මෙලෙස ශල්‍යකර්මයට භාජනය වූයේ අනුරාධපුර නොච්චියාගම ප්‍රදේශයේ පදිංචි 36 හැවිරිදි වෘත්තියෙන් ප්‍රතිමා නිර්මාණ ශිල්පියෙකි. මෙවැනි සංකීර්ණ ශල්‍යකර්මයක් සාමාන්‍යයෙන් සිදු කිරීමේදී රෝගියා සම්පූර්ණයෙන්ම නිර්වින්දනයට (සිහි මුර්ජා තත්ත්වයට) පත්කිරීම සිදු කරනු ලබන අතර නමුත් මෙම ශල්‍යකර්මයේදී රෝගියා සම්පූර්ණයෙන් නිර්වින්දනය නොකෙරුන අතර වේදනාවක් නොදැනෙන පරිදි අවම නිද්‍රාශීලී තත්ත්වයකින් පවත්වා ගන්නා ලදී.

මෙහි සුවිශේෂීත්වය නම් ශල්‍යකර්මය අතරතුරදී රෝගියා සමග නිරන්තරයෙන් සන්නිවේදනය කරමින් ඔහුගේ මතකය පරීක්ෂා කිරීම, දකුණුපස අත, කකුල චලනය කිරීම වැනි ක්‍රියාකාරකම් සිදු කිරීම මගින් ඔහුගේ මොළයේ වැදගත් සංවේදී ප්‍රදේශයන් සංරක්ෂණය කරන අතරතුරම ව්‍යාධිජනක කොටස (ගෙඩිය) ඉවත් කිරීමට හැකියාව ලැබීමයි. මෙම ශල්‍යකර්මයට භාජනය වූ ප්‍රතිමා නිර්මාණ ශිල්පී සමන් ජයසිංහ මහතා ශල්‍යකර්මය අතරතුරදී නෙළුම් මලක් චිත්‍රයට නැගුවේ වෛද්‍යවරුන් කණ්ඩායමද පුදුමයට පත් කරමිනි.

අනුරාධපුර ශික්ෂණ රෝහලේ ස්නායු ශල්‍ය වාට්ටුවට (31) ඇතුළු වන ස්ථානයේ ඇති බුද්ධ ප්‍රතිමාවට පිටුපසින් බිත්තියේ අගනා සිතුවමක් මීට පෙර (රෝගී වීමට ප්‍රථම) ඇඳ ඇත්තේද මෙම රෝගියා විසින් බව රෝහල් කාර්ය මණ්ඩලය පැවසූහ.

ශල්‍යකර්මයෙන් පසු රෝගියා කිසිදු සංකූලතාවයකින් තොරව රෝහලින් පිටව ගිය බවද වෛද්‍යවරු මෙහිදී පැවැසූහ.

මෙම ශල්‍යකර්මය සාර්ථකව සිදු කරන ලද්දේ අනුරාධපුර ශික්ෂණ රෝහලේ ස්නායු ශල්‍ය විශේෂඥ වෛද්‍යවරුන් වන වෛද්‍ය මධුශංක ගෝමස්, වෛද්‍ය රොහාන් පාරිස් සහ නිර්වින්දන විශේෂඥ වෛද්‍යවරුන් වන වෛද්‍ය ලෙවන් කාරියවසම්, වෛද්‍ය විශාඛා කර්නර්, වෛද්‍ය තිලාන් හේරත් ඇතුළු කණ්ඩායමක් විසින්ය.

අනුරාධපුර ශික්ෂණ රෝහලේ සී ශල්‍යාගාරය, ස්නායු ශල්‍ය දැඩි සත්කාර ඒකකය සහ 31 වාට්ටුවේ කාර්ය මණ්ඩල මෙම සැත්කම සාර්ථකව සිදු කර ගැනීම සඳහා සහයෝගය ලබා දී තිබුණි.

මිහින්තලේ – රංග චතූ


No comments:

Powered by Blogger.